ගල්පොත ශිලා ලේඛණය

ගල්පොත ශිලා ලේඛණය

අප්‍රතිමල්ල ආකාශචාරී කාලිංග චක්‍රවර්තී  කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජු (ක්‍රි. ව 1187 –1196 )

පොළොන්නරුවේ දළදා මළුව භුමියේ ඇති  ශිලා ලේඛනයන්ගෙන් එම යුගය පිළිබඳව කරුණු සමුදායක් කියවිය හැකි වේ. එහි ඇති නිශ්ශංකමල්ල රජතුමාගේ සෙල් ලිපි අතර  ප්‍රචලිත  ලේඛණය වන්නේ ගල්පොත නමින් හදුන්වනු ලබන හැටදාගෙයත්, සත්මහල් ප්‍රාසාදයත් අතර  ඇති විශාල ගල් පුවරු ලිපියයි. මෙය ලංකාවේ හමුව ඇති විශාලතම ශිලා ලිපියද වන්නේය. එහි සඳහන් ආකාරයට මෙම ගල් පුවරුව ගෙන්වා ඇත්තේ මිහින්තලයේ සිටය. ( දියුණු මාර්ග හෝ ප්‍රවාහන පහසුකම් නොතිබුන එම යුගයන් හිදී මෙවැනි විශාල පාෂාණයක් එතරම් දුරක සිට ගෙන ඒමද විස්මයජනක ක්‍රියාවකි.) මෙහි දිග අඩි 26 අඟල් 10 ක් වන අතර පළල අඩි 4 අඟල් 7 කි ඝනත්වය අඩි 2 අඟල් 1 ත් 4 ත් අතර වේ. ලිපියේ ලියු මුහුණත කොටස් තුනකට බෙදා රූල් ගසා පිටු තුනක් වන සේ සකස් කර ලියවා ඇති බැවින් ගල්පොත යන ව්‍යවහාරය ගනී.  අක්ෂර ප්‍රමාණය 4 300 ක් ඉක්මවයි. සංස්කෘත මිශ්‍ර  කාව්‍යමය භාෂාවකින් ලියවා ඇති බව ප්‍රකාශිතය.

මෙහි අන්තර්ගත මූලික කරුණු අතර රජුගේ උත්තුංග බව හා මහාත්ම ගුණාංග , ඔහුගේ ලෝක සාසනික කටයුතු, විදේශ ආක්‍රමණ හා රටවැසියාට දෙනු ලබන අනුසාසනා ප්‍රධාන වේ.

 

මුලින්ම දක්වා ඇත්තේ

යනාදී ලෙස කාලිංග චක්‍රවර්තී කුලයේ විජය රාජයන් බුදුන්ගේ නියෝගයෙන් දෙවියන් විසින් අරක්ගන්නා  ලදුව ලංකාවේ යක්ෂයන් බය ගන්වා මෙරට මිනිස්  වාසයක් බවට පත්කර  වසර 1700 ගිය කල්හි ලංකාවේ කිරුළට හිමිකම් පාන ලද බවයි. නමුත් මෙහි නිශ්ශංක මල්ල රජු   ප්‍රකාශ කරන අයුරින් විජය රජු කාලිංග වංශිකයකු නොවේ. 

 “සක්විත්තන් උපදනා උතුම් දඹදිව්හි කලිගුරට සිංහපුරයේහි මේමැ රජපරපුරට තිලකයක් බන්ඳු  ශ්‍රී ජයගොප රාජයන් වහන්සේ නිසා පාර්බ්බාති මහදේවීන් වහන්සේ කුසෙන් ඉපිදෑ රජ පෙරහරින් වැඩි තමන් යෝන පරපුරෙන් හිමි ලක්දිවැ රජකරනු මැනවයි ලක්දිව කුලජෙටු මහරජුන් අයැදමෙන්  මහා පෙරහරෙන් මෙලකට බැසැ ඈපා හිමියා තනතුරු රජ ඉසුරු වින්ඳිමින් ...”

යනුවෙන් ප්‍රකාශ කරන අයුරු මගින් හෙලිවන්නේ මෙතුමා ලංකාවට පැමිණ ඇත්තේ ලක්දිව මහරජුගේ ආරාධනය මත රාජ්‍යත්වයට පත්වීම සඳහාය.  එනම් ලන්කාරාජාවලියේ 142 වන රජු වන වසර 32ක් මෙරට පොළොන්නරුවේ සිට පාලය කල මහා පරාකරමබාහු රජුගේ ආරාධනයෙනි.

නමුත් පරාක්‍රමබාහු රජතුමාගේ ඇවෑමෙන් රජ වුයේ දෙවන විජයබාහු හෙවත් පරාක්‍රමබාහු රජුගේ සොයුරියගේ පුත්‍රයාය. ඔහු විසින් පැරකුම් රජු විසින් සිරගත  කර සිටි ජනයා මුදාහරින ලද බව මහාවංශය කියයි. බුරුමය සමගද සම්බන්ධතා ගොඩනගාගත් මෙතුමා රාජ්‍ය කලේ වසරකි. ඉන් අනතුරුව මහින්ද නම් අයෙක් ප්‍රයෝගයෙන් රජු මරා පස්දිනක්  බලයේ සිටියේය. දෙවන විජයබාහුගේ උපරජුව සිටි නිශ්ශංක මල්ල මහින්ද මරා දමා  රජවන්නේ ඉන් පසුවය.

ඒ අනුව මෙම කාල සීමාව තුළ රාජ්‍යත්වය අරභයා ආරාවුල් පැවතී යුගයකි. නමුත් ඒ සියල්ල රජපවුලට සම්බන්ධ අය අතර වීම විශේෂයකි. නිශ්ශංක මල්ල රජුට වුවද පාලනය ගෙනයන්නට හැකිවුයේ අවුරුදු නවයක් වැනි කාලයකි. අනතුරුව රජුගේ පුත්‍ර වූ වීරබාහු කුමරු රජවන්නේ එක් රැයක  කාලයකි. ඉන් අනතුරුව නිශ්ශංක මල්ල රජුගේ සහෝදර වූ වික්‍රමබාහු බලයට පැමිණේ.  ඔහුගේ කාලය මාසයකි.  ඔහු මරා දමා නිශ්ශංක මල්ල රජුගේ බෑනා හෙවත් සොයුරියගේ පුත්‍රයා වූ චෝඩගංග  නව මාසයක් රජවේ. ඉන් පසු චෝඩගංග ගේ ඇස් උපුටා දමන කීර්ති සෙනෙවි  ලීලාවතී බිසව රාජ්‍යත්වයට පත් කළේය.

ඒ අනුව පෙනී යන්නේ නිශ්ශංක මල්ල රජු බලයට ඒමට පෙර   රටේ අභ්‍යන්තර අර්බුද ගොඩනැගී තිබු බවයි .  එමනිසා නිශ්ශංකමල්ල රජුට සිය ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය. මහා පරාක්‍රමබාහු වුවද රජ වුයේ අර්බුද රාශියක් මධ්‍යයේය. ඔහු බලයේ සිටින  විට පවා අභ්‍යන්තර වශයෙන් ජනයා කැරලි ගැසූ ආකාරය චුල වංශයෙන් පෙනේ. එවන් ප්‍රබලයෙකුට එසේ වූ විට නිශ්ශංක මල්ල රජු ට ද බොහෝ අභියෝග පවතින්නට ඇත. එමනිසා ප්‍රතිරූපය ගොඩනගා ගැනීම සඳහා  සංචාරය කරමින්, සෙල් ලිපි පිහිටුවමින් මහදාන පවත්වමින් සාමාන්‍ය ජනතා ආකර්ශනය සඳහාත් ප්‍රභූ පන්තිය මර්ධනය කරමින් යටහත්භාවය ගොඩ නැගීම සදහාත්  කටයුතු කරන්නට යෙදී ඇත.

එබැවින් මූලික වශයෙන් සිය බල පරාක්‍රමය හා පුණ්‍ය මහිමය පිළිබඳව මෙරට සාමාන්‍ය ජනයා වෙත අතිශයෝක්තියෙන් ප්‍රකාශකිරීමට කටයුතු කර තිබේ.

ඒ අනුව තමා බලයට පැමිණියේ ඈපා තනතුරු දරා කඩුශිල්ප ශාස්ත්‍ර සහ සකල කලාවන්ගෙන් නිපුන වූ පසුවය. ඔහු කෙතරම් තේජස්වී බලයක් ආරෝපණය කර ගන්නට  උත්සාහ කර ඇත්ද  යන්න  ඔටුනු පළදින මගුල් වේලෙහි නැගී ආ මහා මේඝ ය දෙස කිපී  අහස බැලු  සැනින්  විසිරවීමටද , ක්‍රීඩා වනයෙහි කෑ ගසමින් ඉදිරියට පැන්න වැලහින්න දිව කඩා සිය පැටවුන් සමග පාපිට හෙලීමටත් සමත් වූ බව දක්වා තිබීමෙන් වටහා ගත හැකිය. ඔහුගේ පුණ්‍ය මහිමය කෙසේද යත්  නිරුදක කතරක වුවද  ජලය අවශ්‍ය යයි සිතු විගසම අකාල වැසි වැස්වීමටත් සමත් වී තිබේ.  සමුද්‍ර ක්‍රීඩාවට යන අතරමග හමුවූ මහ පොළඟා  ඌ ඌවම සපා කා මියගොස් තිබෙන්නේ රජු කෙරේ භීතියෙනි රජ බසට අවනතවීම නිසාය.  එසේම මගුල් ඇතු පවා රජු දුටු විගසම පිටෙහි නගින්නට අවකාශ සලස්වයි. එසේ මගුල් ඇතු  දණ නමා පිට දෙන්නේ රාජ්‍යත්වය ට ඔහුට වඩා අන් සුදුස්සෙක් මෙහි නොමැති බැවින් වන්නට පුළුවන. රජෙකු නොමැතිවිට මගුල් ඇතු දණ නමන්නේ රාජ්‍යත්ව හිමි පුද්ගලයාටය. ( දුටුගැමුණු කතා පුවත , දෙවන පැරකුම් කතා පුවත සසදන්න )

මෙතුමා ගල්පොත ශිලා ලේඛනයේ තමා හදුන්වන්නේ

යන නමිනි . ඔහුගේ කාලිංග උද්‍යාන ශිලා ආසන ලිපියේ සඳහන් වන්නේ යන යෙදුමයි. ඔහුගේ රන්කොත්වෙහෙර ටැම් ලිපියේ තම නාමය දක්වන්නේ  “ ශ්‍රී වීර කාලිංග ලංකේෂ්වර අප්‍රතිමල්ල නිශ්ශංකමල්ල පරාක්‍රමබාහු චක්‍රවර්ති ස්වාමීන් වහන්සේ” යනුවෙනි. ඒ අනුව ඔහු චක්‍රවර්තී රාජ්‍ය සංකල්පය හුවා දක්වමින් තමාද එවැනි යයි පවසන්නට දැරූ උත්සාහයක් පෙන්නුම් කෙරේ.  රජතුමා තමා පිළිබඳව ජනයාට ලබාදෙන ප්‍රකාශනය  පහත කොටස කියවා බැලීමෙන් අවබෝධකරගැනීමට උත්සාහ කරන්න

ඔහු සතුරු අන්ධකාරය දුරුකරනු ලැබුවේ උදාගලින් මුදුන්පත් හිරු සේය. එමගින් බොහෝ ජනයාගේ මුව පියුම් පුබුදු කොට  අනන්ත රාජ ශ්‍රීයෙන් ශක්‍රයා සේ ද , සෞම්‍ය ගුණයෙන් පුන් සඳ සේ ද , ධීර ගුණයෙන් මහා මේරු පර්වතය සේ ද, ගැඹුරු බැවින් මහා සාගරය සේ ද , ක්‍ෂාන්තියෙන් මහා පොලව සේ ද  ලෝ වාසීන්ගේ පිනින් උපන් කප් රුකක් සේ   කටයුතු කර ඇත. එවන් ප්‍රබල වූ රජෙකුට එරෙහිවන්නෝ කවරහුද?

මී ලඟට පවසන කරුණ ඉතා  වැදගත්ය. සමහර රජකෙනෙකුන් ගේ සමයේ දුර්නීති හේතුකොටගෙන ජනයා ධනයෙන් පිරිහුණ බව අසන රජු පස් අවුරුද්දක බදු   අය අතහැර  අඩුකරන ලද බදු කෙත්වත්වලින් ලබාගෙන තිබේ.  මෙලෙස දුර්නීති පනවා අධික බදු අය කලේ කවුරුන්ද , කෙටි කාලයක් රජය කරන ලද දෙවන විජයබාවන් ද? , ඊට පෙර රජ කල මහා පරාක්‍රමබාහු රජු ද? , චුලවංශයේ   සඳහන්තොරතුරු විමසා බලන විට ඒ පරාක්‍රමබාහු සමය විය යුතුය. විදේශයන් සමග යුධ කිරීමටත් , මෙරට වාරි හා සාසන කටයුතු සංවර්ධනයටත් අවශ්‍ය ධනය සම්පාදනය කරගන්නට ඇත්තේ බදු වැඩිකිරීමෙන් වන්නට පුළුවන ඒ නිසා ඇති වූ මහජන කැරලි නායකයන් මරා දැමීමෙන් හා සිරගත  කිරීමෙන් අවසාන වන්නට ඇත. දෙවන විජයබාහු නිදහස් කලේ ඔවුන් වන්නට පුළුවන.

හේන් වලින් ලබාගන්නා කටුසර භෝග බදු හැම කලටම අහෝසිකර තිබේ. එසේම කහවනු , තඹ , රන්රිදී මුතු මැණික් වස්ත්‍රාභරණ  යනාදිය ලබා දීමෙන් දිලින්දන්ගේ ගිම් නිවන ලදී  එසේම දිවෙල් , වහල්, හරක්, පමුණු රන් රිදී වලන්, ආදී බොහෝ සම්පත් ලබා දී අමාත්‍යවරු  ඇතිකරවා තිබේ.  ඔවූන් මෙහෙයවා  විනාශ වූ මහා වැවු, ඇළ මාර්ග බඳවා රට සුභික්ෂ කරවා ඇත.

සොරුන්ගෙන් ආකුල වූ සමාජයේ සොර විපත් දුරුකිරීම  සඳහා සොරුන්ට උන් කැමති වස්තු දුන් රජතුමා  ධර්මාධිකරණ ඇතිකර ජනයාට යුක්තිය පසිදලා තිබේ. වත්මන් සමාජයේ සොරුනට මෙසේ උන් කැමති වස්තු පිරිනමන්නේ නම් සමස්ත ජන සමාජයම සොරුන් වනවා නියත වේ. එවිට මහා  බැංකුව පමණක්නොව අවශේෂ කුඩා බැංකුද සොරුන්ට ධනය දීම සඳහා  යොදා ගන්නට සිදුවනු ඇත.

ධර්ම ශාසන ස්ථාවරත්වය පිණිස වනවාසී හා ගෘහවාසි භික්ෂුන් ශාසන සංශෝධනයකින් දුර්ලබ්දීන් පහකොට සුසිල්වත් මහා සංඝයාට වාර්ෂික දැන් දී , මහනකම් පවත්වා සස්න ස්ථාවර කල බව සඳහන් කරයි , නමුත් මෙතුමා කල සංඝ සංශෝධනයක් හෝ කතිකාවතක් පිලිබඳ පැහැදිලි අනෙක් මූලාශ්‍රයක් නොමැති බව පෙනේ.  පොළොන්නරු ගල් විහාරයේ ශිලා ලේඛනයේ දක්වා ඇත්තේ මහා පරාක්‍රමබාහු රජු හා දිඹුලාගල මහා කාශ්‍යප හිමියන් ප්‍රධානත්වයෙන් සිදු කරන ලද සංඝ සංශෝධනය පිලිබඳ වන කතිකාවතයි.

රාජවංශය පවත්වාගැනීමට නිශ්ශංක මල්ල රජු  අනුගමනය කල ක්‍රියාවලිය ඊ ලඟට විස්තර කෙරේ.

ඔහු සිය බිසෝවරුන් දෙදෙනා වූ සුභද්‍රා හා කල්‍යාණි බිසව ගෙන එන ලද්දේ ඉන්දීය රාජ කුලයන්ගෙනි . එමගින් ජනිත වූ රජ පවුල  තුලාහාර දාන දෙමින්  යහපාලනයක් ගෙනගිය බව ශිලා ලේඛනයේ සඳහන් වන්නේ මෙසේය.

මේ අනුව උත්සවශ්‍රීයෙන් තුලාහාර දන් දුන් බව විද්‍යමාන වේ. එසේම ඒ සඳහා තම පුත්‍රයා උරෙහිදා දරු මහපානන් ( වික්‍රමබාහු  කුමරු )  සහ දියණිය වූ සර්වාංග සුන්දරියත්  සම්බන්ධකරගෙන ඇත. මේ නිසා මහජනයා දිවි දී  රජු රැකීමට වුවද කැමැත්තෙන් සිටි බව පවසා තිබේ. එපමණක් නොව ප්‍රත්‍යන්ත ජනයාටද දාන වර්ෂාවන් වස්වා තිබේ. ඒ අනුව රජතුමා ජනතා සේවය කල අයුරු මොනවට පැහැදිළි වේ.

    

රජු රටවටා කල  චාරිකා අතරතුර සිදුකල ප්‍රතිසංස්කරණ පිළිබඳව ඉහත දක්වා ඇත.  ඒ අනුව මහියංගනය, මාගම දෙවිනුවර, කැලණිය, දඹුලු ලෙනෙහි ප්‍රතිමාවල රන් ආලේපකිරීම සිදුකර ඇත. රුවන්වැලි මහා සෑයට කරනලද මහා පූජාව අවස්ථාවෙහි දෙවියන් ආශිර්වාද කර ඇත. ඉන් අනතුරුව එතැන ඔහු කල ගල් දාගැබ අදත් රුවන්වැලි දාගැබ අසල දැකිය හැකිය.

මීට අමතරව දක්වන්නේ නිශ්ශංකමල්ල රජුගේ ඉන්දියා ආක්‍රමණ පිලිබඳ පුවතයි. ඔහු ඉන්දියාව ආක්‍රමණය කරන්නේ ලක්විජය සිඟු සෙනෙවි තාවුරුනාවන් සමගිනි. ඒ බව අසන පඬි රජු හා මෑනියන් බියට පත් වී පඬි රාජයය ඔහුට පිරිනමයි. එපමණක් නොව අවශේෂ දකුණු ඉන්දීය රාජ්‍ය වලින්ද රාජ කන්‍යාවන් හා පුද පඬුරු ගෙන්වාගනී. ඔහුට ප්‍රතිමල්ලවයන් නොවන නිසා එහි පාලකයනට පාලනය ලබා දී ජය ස්ථම්භයක් හා රාමේශ්වරම්හි නිශ්ශංකේෂ්වර   නම් දේවාලයක් කරවා බොහෝ වහලුන්ද ගෙන ආපසු පැමිණේ.   එම කතා පුවත විස්වාස කල නොහැකි තරම් වන අතර මහා පරාක්‍රමබාහු රජුගේ දකුණු ඉන්දීය ආක්‍රමණය කලාක් මෙන් ඔහු හා සම වීම සඳහා කිසිදු අවශ්‍යතාවයක් නොවුවද ද්වන්ද සටන් ඉල්ලා පාන්ඩය දේශය ආක්‍රමණය කරයි. පරාක්‍රමබාහු රජුට ලංකාපුර දණ්ඩනායක මෙන් නිශ්ශංකමල්ලට වුයේ ලක්විජය සිඟු තාවුරුනා සෙනෙවියාය.Gal Potha (Stone Book) | This largest stone inscription foun… | Flickr


මෙලොව සතුරන් නොමැති වූ බැවින් නිශ්ශන්කමල්ල රජු පරලොව සතුරන් දිනීමට ක්‍රියාකරයි. ඒ අනුව ලංකාවේ පමණක් නොව පරදෙශයන්හිද නිශ්ශංක දාන මණ්ඩප කරවා නොයෙක් රන් රිදී වස්තුන්ගෙන් කප්රුක් සේ සරසා යාචකයන්ට දැන් දී ඔවුන්ගේ සතුට බලමින් තමා ප්‍රීති වීමට පටන් ගෙන තිබේ. එසේම වෙස්සන්තර හා සම වීමට මෙන් තම පුතා සහ දියණිය දළදා හා පාත්‍රා ධාතුවට පූජාකර අනතුරුව ඝණ රන් දාගැබක් ඇතුළු නොයෙක් ධනය පුදා දරුවන් එයින් ගලවාගෙන තිබේ. එම කතාව ගල්පොත ප්‍රකාශ කරන්නේ පහත සේය.

 

පොළොන්නරුවේ ඇති දළදා ගෘහය, වටදාගෙය , හා නිශ්ශංක ලතා මණ්ඩපය  දොරටු පවුරු ඔහු කල බව කියයි.

යනාදී ලෙස එය ශිලා ලිපියෙහි දක්වා තිබේ. ඉන් අනතුරුව රජතුමා සිය වැසියනට කරුණාවෙන් කරනු ලබන අවවාද රාශියක් වන්නේය. එය තත්කාලීන දේශපාලන සමාජ සන්ධර්භය වටහාගැනීම සදහා මහත් පිටිවහලෙක් වේ.

 

රජදරුවන් මනුෂ්‍ය වෙසින් සිටින නර දේවතා වන හෙයින් දෙවියන් සේ දැකිය යුතුය මැදහත් රජකෙනෙකු ලැබීම බුදුන් ලැබුනා සේ සැලකිය යුතුය.

රජදරුවෝ වරදට සුදුසු නිග්‍රහ කරනු ලබන අතර  එය ශරීරයෙහි රෝගයකට වෙදුන් කරන පිලියමක් සේ හිතසිතින් කරනබවත්  අකටයුතුකම් වලින් වලකා අපායෙහි යාමට නොදෙන බවත් ස්වර්ග මෝක්ෂය ගෙන දෙන බවත් රජුගේ රහස් නොරකින අය මිනිස් ලොව නිරයක් බවට පත් කරගන්නා බවත් , රහස් රකින්නන් දෙව්ලොවක් සේ වන බවත් රජු වෙනුවෙන් දුක් විදින්නන් සුවය උදෙසා බීජ වැපිරීමක් බවත් ප්‍රකාශ වේ. මේ අයුරින් සලකා බැලීමේදී පෙනී යන්නේ නිශ්ශංක මල්ල රජුට එරෙහිව වුවද විවේචනය කරන්නාවූ, ඔහුට එරෙහිව ගොස් දඬුවම් විදින්නාවූ රාජ රහස් නොරැක කටයුතු කරන්නාවූ ඉහල පෙලෑන්තියේ ජන කණ්ඩායමක් වූ බවයි.   

රජුන්ගේ රහස් දෙඩීම නම මාරයා ගෙන්වන්නට කරන මන්ත්‍රණ හා සමානය. රජු වෙනුවෙන් දිවි පූජාකරන්නෙක් නම් යශස් කීර්තියෙන්  බොහෝ කාලයක්  පවතිනු ඇති. රජතුමා ආඩම්බර කාරයන් නුරුස්නාහ රජුගෙන් නම් තනතුරු සම්පත් ලද පමණින්ම ආඩම්බරකාරී ලෙස සිටිය යුතු නොවේ.  


මේ සමය වන විට යම් ප්‍රබල ගොවි කුලයේ අයෙක් නිශ්ශංක මල්ල රජු නොලකා හරිමින් කටයුතුකරමින් පොලොන්නරුවේම සිටිය බවට ඉහත ප්‍රකාශනය ප්‍රමාණවත් වේ ඔහු ලද තනතුරු වලින් සෑහීමකට ලක් නොවී, රජකම ලබා ගැනීම සඳහා මාන බලමින් සිටිය බව අනුමාන වේ. “ ඔහු එබඳු සිතක් සිතුවද රාජ හංස සින්හාදීන්ගේ වෙස් නැගු කවුඩු කැනහිල් ආදීන් සේ ජනයාගේ අපහාස ලබන” බව පවසයි.

රජුගේ දරු වූ ඈපාවන් බාලයෙකු වුවද ලෝක ස්වාමි නිසා රාජ්‍ය බලාගෙන සිටිය යුතුය, එඅසේ නොවී නම් රජ බිසෝවරු පාලනය කල යුතුය. එසේ බිසෝ වරියක් නොවුනහොත් රජුගේ පාවහන් යුගල සිංහාසනය මත තබා රාජ්‍ය රැක්ක යුතුය. කප්රුකක ඇති තැනක විෂ රුකක් හිටුවන්නා  සේ  කාලිංග වංශයට හිමි ලක්දිව බුද්ද්ශාසනය චෝල පඬි ආදී රජුන්ට ලබාදිය යුතු නොවේ.  යනුවෙන් පවසන්නේ රාජ්‍යත්වය කෙරෙහි මෙම තුන් කුලයන් තර ගැටුමක් පැවතිබව සනාත කරමිනි.

 

මෙම බල අරගලය සනාත කරමින් නිශ්ශංක මල්ල  රජුගේ පාලන කාලය වසර නවයකින් නිමාවට පත්වේ.   විශාල සෙල් ලිපි ප්‍රමාණයක් මගින් ජනයා තමා කෙරෙහි පක්ෂපාත කරගැනීමට උත්සාහ කලද විජාතිකත්වය පිලිබඳ වූ අභියෝගය ජය ගැනීමට නුපුළුවන් වූ බව පෙනෙන්නේ ඔහුගේ පුතු වසරක පාලනයෙන් ඉඅවත් කිරීමත් සහෝදරයාගේ පාලන කාලය ඊටත් වඩා කෙටි වීමත් නිසාය. අවසානයේ සිය නෑදෑ වූ ලීලාවතී රැජින පරාක්‍රමබාහු  රජුගේ සෙනෙවියකු මගින් බලයට ඔසවා තබන ලදී.  මේ සඳහා කටයුතු කලේ “ ගොවිකුල ඇත්තන් “ බව පැහැදිලිය.

1: Polonnaruwa Galpotha (Stone Book) Inscription. | Download ...


ප්‍රියන්ත දිසානායක

 

Resources

Epigraphia Zeylanica

මධ්‍යකාලීන ලංකා ඉතිහාසය

ලංකා ඉතිහාසය (  ලංකා වි වි )

 


Comments

Popular posts from this blog

වේවැල් කැටිය - දසවන සියවසේ අපරාධ හා දඬුවම

සිව් වන මිහිඳු රජුගේ වෙස්සගිරි පුවරු ලිපිය

10 / 11 ශ්‍රේණි සිසුන් වෙත