සිව් වන මිහිඳු රජුගේ වෙස්සගිරි පුවරු ලිපිය
සිව් වන මිහිඳු රජුගේ වෙස්සගිරි
පුවරු ලිපිය
තිසා වැවේ වාරි ජලය බෝ උපුල්වන් කසුබ්ගිරි වෙහෙර හෙවත් ඉසුරුමුණි විහාරයට අයත් 144 කිරිය හා පය 1 ක් වන කෙත් යායට ලබාදීම සම්බන්ධ පාලන නීති හා තවත් කරුණු අඩංගු ලිපියකි හතර වන මිහිඳු රජුගේ වෙස්සගිරි පුවරු ළිපිය. වෙසගිරියෙන් හමු වූ මෙය දැනට පවතිනුයේ
මහාවිහාර කෞතුකාගාරයේය. කනගාටුවට කරුණක්
වනුයේ රටේ අනාගතය භාරගැනීමට සිටින දුවා දරුවන් මෙම කෞතුකාගාරය වෙත ගෙන යාමට පාසල්
චාරිකා සංවිධානය කරනු ලබන බොහෝ ගුරුභවතුන් ක්‍රියා නොකිරීම. මේ කෞතුකාගාරයේ ඇති වැදගත්කම නොදන්නාකම හෝ එසේ
මහා විහාර සංකීර්ණයට අනුබද්ධව කෞතුකාගාරයක් පවතින බව නොදන්නා නිසා වන්නට
පුළුවන. අනුරාධපුර පාසල් චාරිකා වලදී ද ප්‍රමුඛතාවය
ලැබෙන්නේ අටමස්ථානය කේන්ද්‍ර කරගත්
වටවන්දනා මාර්ගය අවට කෙරෙහි වීම කනගාටුවට කරුණකි. පාසල් චාරිකා වලදී අභයගිරි, ජේතවන, මහාවිහාර කෞතුකාගාර මෙන්ම
නුවරකලාවියේ ජන කෞතුකාගාරය නැරඹීම ට කාලය වෙන්කිරීම අගනා බව ප්‍රකාශ කරමි.
මෙම වෙස්සගිරි පුවරුලිපිය ලියවා
ඇත්තේ සිරි සඟබෝ අභා මිහිඳු රජු හෙවත්
සිව් වන මිහිඳු රජු විසිනි. ( වෙස්සගිරියට අදාළ තවත් පුවරු ලිපි පවතී) අනුරාධපුරයේ වෙනත් ස්ථාන කිහිපයකම මෙතුමාගේ
සෙල් ලිපි වේ. මහාපාලි දාන ශාලාව් අසල මනරම් සෙල් ලිපියේ අක්ෂර විනාශවෙමින්
පවතිනුයේ එයට ආවරණයක් නොමැතිව ඇලවී අව්වේ
වියෙලෙමින් කාබනික දුම් හේතුවෙන් ඇතිවන
අම්ල වැසිවලට ද තෙමෙමින් පවතින බැවිනි. අදාළ බලධාරීන් මෙම ලිඛිත මූලාශ්‍ර ආරක්ෂා
කිරීමට දක්වන සැලකිල්ල කොතරම්ද යත් වහලය ගසා රජ සමයේ ආරක්ෂාකළ පොළොන්නරුවේ ගල්පොත
ශිලා ලේඛනය පවා වර්තමානයේ අභ්‍යවකාශයේ සිට කියවීමට මෙන් නිරාවරණය වී තිබීමට හැරීමෙන් පෙනේ. මේවා වේගයෙන් කාලයත් සමග
අක්ෂර විනාශ වී හඳුනාගත නොහැකි මට්ටමට පත්වනු ඇත එය වලක්වාගත හැකි තත්වයකි.
(වෙස්සගිරියේ බෝධිඝරය නටබුන් සංරක්ෂණයෙන් පසු .)
අපේ ප්රස්තුතය වන 4 වන මිහිඳු
රජුගේ වෙස්සගිරි පුවරු ලිපිය වෙත අවධානය යොමු කරමු. මෙම ලිපිය පිහිටුවීමේ මූලික
අරමුණ වන්නේ තිසාවැවෙන් ජලය ලබන ඉසුරුමුණිය අවට කෙත් යායට ජලය ලබා ගැනීමේ තිබු ආරාවුලක්
විසඳීමය. සුපුරුදු ලෙසම සෙල් ලිපිය
ආරම්භ වන්නේ රජු රාජ පරම්පරාව හා ඔහුගේ කීර්තිය පිලිබඳ වර්ණනාවකිනි.
රජුගේ මෞලි මංගල්‍යයෙන් නවවන වසරේ කල මෙම අඩි 5 අඟල් 2 ක් හා අඩි 2 අඟල් 11 වන පුවරු ලිපියේ දැක්වෙන අයුරින් දසරාජ ධර්මයෙන් රජය පාලනය කල රජු සතර සංග්‍රහ වස්තුවෙන් වියෝ නොවී දාන ශීල භාවනා මෝක්ෂ මාර්ග ඒකාකොට ලෝකයා කෙරෙහි කරුණාවෙන් මහත්ව සියලු ජනයාගේ සිත් සතන් සැනසූ බවයි. අනතුරුව තමා ප්‍රිය කල සේන සෙනෙවියාගේ වික්‍රමයන් මගින් ඉන්දියාවේ පවා බලය පතුරවා තිබු බවයි. ( මෙම කාරණය මතවාදයට තුඩු දෙයි.)
(වෙස්සගිරියේ කටාරම් ලෙනක සකසා ඇති යාව පිහිටි තිදෙනෙකුට සැතපීමට හැකි අවකාශයන්.)
මෙම ශිලා ලේඛනයේ ඉසුරුමුණි විහාරය හඳුන්වා තිබෙන්නේ “ බෝ උපුල්වන් කසුබ් ගිරි මහා විහාරය” යන නමිනි. මෙයට මෙම නාමය ලැබෙන්නේ පළමුවන කාශ්‍යප රජ සමයේ බව පිළිගනී. කාශ්‍යප රජු විසින් අවට ඉඩම් මිලට ගෙන විහාරය සදහා ලබා දුන් බවත් ඔහු මහමෙවුනාවෙන් දකුණු දිසාවේ තිසා වැවට ආසන්නව කල විහාරයට තම දියණියන් දෙදෙනා වන බෝධි , උත්පලවන්නා යන දෙදෙනාගේ නාමයන් පෙරටුව තම නාමයද එක්ව නාමකරණය කර ඇති බව මේ නිසා වටහා ගත හැකිය. එසේම ඉසුරුමුණිය විහාරයද වෙස්සගිරි ආරාම සංකීර්ණයට අයත් වූ විහාරයක් බව ද ඉන් වටහා ගැනීමට අවකාශ ලැබේ.
මෙම ලිපිය පිහිටුවන්නේ තිසා වැවෙහි දියවර සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුකාරී
තත්වය මග හරවා ගැනීම සඳහාය.
( වෙස්සගිරියේ ගල් කණු ගලවා ගැනීමට භාවිතා කල ගලෙහි ශේෂය සහ සලකුණු.)
ඉසුරුමුණි බෝ උපුල්වන් කසුබ්ගිරි
මහා විහාරයේ කෙත්වතු විනාශ කිරීමට මෙන් පෙර රජුගේ නියෝග නිසා ඇතිවී තිබුණු වියවුල්
මෙමගින් නිරවුල් කරන බව පෙනේ. මහා මෙවුනාවේ
මහා සංඝයාගේ දේපල පාලන භාර කරු ප්‍රධාන මෙම විහාරයේ භික්ෂුන්ගෙන් ඒ පිළිබඳව අසා රජතුමා ලබා දෙන නව නියෝගය මෙහි ලියවා ඇත ....
මේ දියෙන් කෙරෙන වෙහෙර අවට 144 කිරියක් හා 1 පයක් වන
කුඹුරු යායට දාන වැවකින් ජලය සැපයීමේදී මොහොල නගා හැර සොරොව් දොරටුවේ ඉදිරියෙන්
සතර රියනක් දිය යට හිඳුවා ඇති දිය කැට පහණේ මුදුන පෙනෙනතාක් පමණක් අවරෝධ කිරීමක්
නොමැතිව දිය ලබා දිය යුතුය.
මෙම ප්‍රකාශයත් සමග අතීත වාරි
කර්මාන්තයට අදාළවන තාක්ෂණික අංගයන් කිහිපයක් පිළිබඳ තොරතුරු හමුවේ.
·
මොහොල = එනම්
බිසෝ කොටුවේ ජල ප්‍රවාහ පාලන උපකරණය නැංවිය හෙවත් එසවිය යුතුව තිබුණ පියන්පතක්
වැනි ඇටවුමක් බව.
o රන්මසු උයනට ජලය සපයන ඇළ මාර්ගවල ජලය අවරෝධනය සඳහා ඇතුලට පියනක් යෙදීමෙන් ක්‍රියාත්මක කල හැකි පාෂාණමය නිර්මාණයන් වේ, එවන් යෙදවුමක් බිසෝ කොටුවේ ඇතුලතින් සවිකර එසවීම හා පහලට තද කිරීම මගින් ජල ප්‍රවාහය පාලනය කරන්නට ඇත. වත්මන් බදුලු ටැම් ලිපිය පිහිටුවා ඇතිස්ථානයේ ද මෙවැනි ගල් සොරොව් විවරයක් තබා තිබේ.
( රන්මසු උයනේ පොකුනුවලට සපයන ජලය පාලනය පාලනයට සකසා ඇති ව්‍යුහය. වැවක සොරොව් දොරටුව ඉදිරියෙන් බිසෝ කොටුව තුළ පවතින්නට ඇත්තේ මෙවැන්නකි. එයට සම්බන්ධ වන එසවිය හැකි පියන්පත සවි වූ ලී දණ්ඩක් "මොහොල' වන්නට ඇත.)
o දිය කැට පහණ
§
එනම් සොරොව්වේ
දොරටුවට ඉදිරියෙන් දියෙහි සතර රියනක් උස
ප්‍රමාණය දැක්වීම සඳහා යොදා තිබුණු පාෂාණයක් බව.
එහි මුදුන පෙනෙන්නට පටන් ගන්නේ සතර රියනක් දක්වා ජලය අඩු වීමේදීය.
මෙසේ දිය ලබා
දිය යුතු භුමි ප්‍රදේශයද පැහැදිලිව දක්වා ඇත.
ඒ අනුව රන්මසු උයනත්, ක්‍රීඩා ගෘහයටත් , උයන් සීමාවටත් , මහනෙල් මල් වැවෙන සීමාවටත් , හා පෙරකී කිරිය 144 ක් හා පය එකක් වන කුඹුරත්ය. මේ අනුව රන්මසු උයනේ පැවති ක්‍රීඩාගාරයක් වේ. එය එහි පොකුණට යාව පවුරකින් ආරක්ෂිතව පැවති බවට නටබුන් දෙස් දෙන ගොඩනැගිල්ල විය හැකිය. මෙය ප්රභූන්ගේ සුඛවිහරණය වෙනුවෙන් ගොඩ නැගුන එකක් විය යුතුමය.
(පියගැටපෙලට ඉදිරියෙන් පෙනෙන ගොඩනැගිල්ල උස ශක්තිමත් තාප්පයකින් වටවී තිබු බවට ශාක්ෂි වේ. එය හා පොකුණ ඇතුලත් ප්‍රදේශය ක්‍රීඩාගාරය විය නොහැකි ද?)
මෙම සීමාවට ජලය නිකුත් වනවා මිස එම ජලය කෙලෙසකවත් අපතේ යා නොදිය යුතුය.සෙල් ලිපියේ ජලය කොලොම් ඔය හෙවත් මල්වතු ඔයට ගලා යන්නට හැර පිරිහීමට පත් නොවන සේ දන්වා සිටී.
දිය දෙනාල් හි
මුදල් ප්‍රධානීන් විසින් අණකර පෙර කල විහාරයෙන් ‘උත්කොවයට” ගන්නා ලද රෙදි නොගත යුතු බව දක්වා තිබේ. විහාරයට අයත්
බිම් කැබලි අටසියය ගත් ජනයා අදාළ වන හෙයින් විහාරයෙන් එහා මෙහා හෝ අවට ඉඩම් නොගත යුතුය. එනම් වෙනත් අයට ඉඩම් ලබා නොදිය යුතුය. “දෙරුවන දෙකම් තැන්” වාසීන් විහාරයට අයත් භූමියට ඇතුල් වී ගැටුම්
නොකළ යුතුය. සැරපරුෂ දුෂ්ටයින් මෙම දසගමට ඇතුලත් නොවිය යුතුය.
වාරි ජලය ලබාගෙන කරන ගොවිතැන සම්බන්ධයෙන් වැදගත් පනතක් මෙම සෙල් ලිපියේ අන්තර්ගතව පවතී. ඒ වැවෙන්
ජලය ගෙන සිහිනැටි වී වපුරනු මිස මුං වැපිරිය නොහැකි බවයි.
ඒ අනුව වාරි ජලයෙන් වඩා ප්‍රයෝජනවත්
අත්‍යවශ්‍ය කාර්ය පමණක් කල යුතු බව ගම්‍යමාන
කර තිබේ.
මෙම නීතිය පිටුදැක විහාරය අවට
කුඹුරට දෙන ජලය බාධා කොට කෙත් වතු නැසු අයෙක් වී නම් ඔහු ට දඬුවම් දෙන ලැබේ. මෙම නීති පනවන්නට පැමිණ ක්‍රියා කල අය පිළිබඳව
සෙල්ලිපිය අවසානයට ලියා තබා තිබේ. එසේ
කිරීම තුල එවකට සිටි රාජ්‍ය නිලධාරීන් පිළිබඳව තොරතුරු අපට ලබා ගත හැකිව පවතී ඒ අනුව
( වෙස්සගිරියේ කටාරම් ලිපි, )
මගුල් මහා උයනේ ප්‍රධාන පාලකයා ගේ
ව්‍යවස්ථාව සටහන් කල මෙම පහණ රාජ සභාවේ අණින් හිදුවන්නට රාජ සභාවෙන් ආ නීති
නිළධාරීවන බම්ඹ, සෙනෙවිරත් දුරන්ධර ලෝකනාතන්,
නීති නිළධාරී වත්කැමිසභාවසුන් නා රක්සයිම්, නීති නිලධාරී වලු වනිසසාක, කලිඟු ඇමති සහෝදර කිතලදෙටිම්, වටරක් සංඝ රක්සමන වර
කුඩසලා වත්කැමි දෙටිම් ඇතුළු මෙතුවාක් දෙනා විසිනි.
ප්‍රියන්ත දිසානායක
ආශ්රිත ග්රන්ථ
Epigraphia zeylanica ( උපුටා ගැනීම් )
ලංකා ඉතිහාසය
මහාවංශය - බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය










ඉතාම නිවැරදිව , අවශ්‍ය කරුණු සියල්ලත් සමගින් ඔබ ලබාදෙන දැනුමට සුබ පැතුම්****** තව තවත් ඉතිහාසයේ දැනුම බෙදාදීමට පන්නරය ලැබේවා
ReplyDeleteCongratulations 🖤🖤
ReplyDeleteThanks sir
ReplyDelete👍👍👍👍👍
ReplyDelete